අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීම- විරෝධතාකරුවන් මර්දනය කිරීම

විස්තරය

සිවිල් නැගිටීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ශ්‍රී ලංකා රජය 2022 දී, විරෝධතා විසුරුවා හැරීමට පොලීසියට සහ හමුදාවට අධික බලතල හදිසි නීති රෙගුලාසි මගින් ලබා දුන්නේය. මෙම හදිසි නීති රෙගුලාසි භාවිත කරමින් ගෙන ගිය රාජ්‍ය අනුග්‍රහය ලත් මර්ධනයන් හරහා මාර්තු සිට ජූලි දක්වා සාමකාමී විරෝධතාකරුවන් සිය ගණනක් අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවන ලදී.

රාජ්‍ය මුදල් අවභාවිතය, දුර්වල ප්‍රතිපත්ති තීරණ සහ පාලනය, සහ පුළුල්ව පැතිරුනු දූෂණය හේතුවෙන් ඇති වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දීප ව්‍යාප්ත විරෝධතා පැවැතුනි.

එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අස්වීම සහ රටේ ව්‍යසනයට වගකිව යුතු අයගේ වගවීම ඉල්ලා පුරවැසියන් විරෝධතා පැවැත්විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අමානුෂික ප්‍රතිපාදන සංශෝධනය කරන ලෙස සිවිල් සමාජයේ සහ නීති වෘත්තිකයන්ගේ දැඩි බලපෑම් තිබියදීත්[i] එම පනත යටතේ විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනු ලැබුවේය.[ii]

ශ්‍රී ලංකා රජයද පාර්ශවයක් වන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) යටතේ දක්වන පරිදි, මානව නිදහස සහ හිමිකම් සීමා වන මෙවැනි බලයක් යෙදීම නුසුදුසු වේ.

සාමකාමීව රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මෙන්ම, එවා ක්‍රියාවේ යෙදවීම ප්‍රවර්ධනය කිරීමටත්, එවාට පහසුකම් සැලසීමටත් රජය බැඳී සිටියි.

කෙසේ වෙතත්, සාමකාමී විරෝධතා සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීමට බලධාරීන් අපොහොසත් වූවා පමණක් නොව, පොලිස් සහ හමුදා මර්දනය අතරතුර ජීවිත හානි කිහිපයක් ද වාර්තා විය.[iii] උසාවි නියෝග ලබා ගැනීමෙන් හා ‘පොලිස් ඇඳිරි නීතිය’ පැනවීමෙන් විරෝධතා නීත්‍යානුකූලව මැඩපැවැත්වීම සඳහා බොහෝ උත්සාහයන් ගන්නා ලදී.[iv]

හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු බලයට පත් වූ රජය විසින් විරෝධතා මර්දනය කිරීම දිගටම කරගෙන ගියේය. එවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ සහ තවත් දෙදෙනෙකු කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් 2022 අගෝස්තු මාසයේ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගැනුනි.

ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව දින 90ක රැඳවුම් නියෝගයක් ඔවුන්ට එරෙහිව නිකුත් කළ අතර, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔවුන්ව රඳවා තබා ගන්නා ලදී.[v]

මෙහි ඇති දූෂණ ක්‍රියා වන්නේ මොනවාද? 

  • බලය අවභාවිතය
  • ත්‍රස්ත විරෝධී නීතිය වැනි නීති අනිසි ලෙස භාවිතා කිරීම
  • රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහී ලෙස වාර්තා කිරීම

මේ සම්බන්ධව ගන්නා ලද පියවර මොනවාද?

විරෝධතාකරුවන්ගෙන් බහුතරයක් ඇප මත මුදා හැර ඇති අතර, සාමකාමී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් පාර්ශව කිහිපයක් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත.

රටේ පාලනයට වගකිවයුත්තන්ට එරෙහිව හඬ නැගීම සඳහා සාමකාමී උද්ඝෝෂණවල නියැලුන පුරවැසියන් අත්අඩංගුවට ගැනීම සහ මර්දනය කිරීම හෙළා දකිමින් TISL මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.[vi]

සාමකාමී විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සහ ඉන් පසුව ඇති වූ ප්‍රචණ්ඩත්වය පිටුපස සිටින අපරාධකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලා සිටියේය. මෙම ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනයට පොලිසිය අපොහොසත් වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියේය.[vii]

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) කැඳවුම්කරු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් එය නීති විරෝධී බවට තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතීඥ රිවිහාර පින්නදූව මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුට සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමිට එරෙහිව නිකුත් කර ඇති රැඳවුම් නියෝගය දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පොලිසිය වෙත සටහනක් යවන ලදී.[viii]

සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව රජය ගෙන යන මර්දනය නවතන ලෙස ඉල්ලා සිටිමින් Human Rights Watch, Amnesty International, World Organisation Against Torture සහ International Service for Human Rights වැනි ගෝලීය සංවිධාන කිහිපයක් විසින් නිවේදන සහ ඒකාබද්ධ ප්‍රකාශ නිකුත් කරන ලදී.[ix]

තමන් මුහුණ දී ඇති ප්‍රශ්න පිළිබඳව හඬ නගන සාමකාමී විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් 2022 අප්‍රේල් මාසයේ සිට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා හදිසි නීතිය භාවිතා කිරීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් 2022 අගෝස්තු මාසයේදී හෙළා දුටුවෝය.[x]

වින්දිතයන් කවුද?             

ශ්‍රී ලංකාවේ පුරවැසියන්

තවදුරටත් කළ හැකි දේ මොනවාද?             

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම වැනි අත්‍යවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමට පුරවැසියන්ට, සිවිල් සමාජයට සහ මාධ්‍යට හැකිය.[xi]

නීතිය, අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, උසස් නිලධාරීන්ගේ නීත්‍යානුකූල නියෝග පමණක් පිළිපැදීමේ වගකීම සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම යන කරුණු සම්බන්ධව පොලිසියට නිසි දැනුමක් සහ පුහුණුවක් ලබා දීම.

විරෝධතා මර්ධනයට ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ජීවිත හානි සහ තුවාල ලැබූවන් වෙනුවෙන් රජයෙන් වන්දි ඉල්ලා සිටීම.

 

[i] https://www.newsfirst.lk/2022/08/22/sri-lanka-protesters-must-not-be-detained-under-the-draconian-anti-terror-law-says-amnesty/

https://www.newsfirst.lk/2022/09/10/stop-arresting-peaceful-activists-under-imaginary-charges-medical-professionals/

[ii] https://www.newsfirst.lk/2022/08/19/sri-lanka-student-activists-detained-for-72-hours-police-want-to-use-terrorism-act-for-3-month-detention/

[iii] https://www.amnesty.org/en/latest/news/2022/07/sri-lanka-shameful-brutal-assault-on-peaceful-protestors-must-immediately-stop/  and https://www.fidh.org/en/region/asia/sri-lanka/sri-lanka-brutal-attack-against-peaceful-protesters-by-security

[iv] http://www.colombopage.com/archive_22B/Jul08_1657300329CH.php

[v] https://www.themorning.lk/articles/216384

[vi] https://www.tisrilanka.org/statement-on-ongoing-suppression-of-civic-activism/

[vii] https://economynext.com/sri-lanka-bar-association-calls-for-end-to-violence-immediate-arrest-of-instigators-94071/

[viii] https://www.hrcsl.lk/wp-content/uploads/2022/10/HRCSL-Press-Notice-on-26-10-2022-ii.pdf

[ix] https://www.hrw.org/news/2022/08/05/sri-lanka-end-government-crackdown-peaceful-protesters

[x] https://www.ohchr.org/en/press-releases/2022/08/sri-lanka-un-human-rights-experts-condemn-repeated-use-emergency-measures

[xi] https://www.cpalanka.org/commentary-on-prevention-of-terrorism-temporary-provisions-amendment-bill-2022/

This website uses cookies to improve your web experience.