2021 අංක 18 දරන මුදල් පනත

හෙළිදරව් නොකරන ලද වත්කම්  විදේශයන්හි රඳවා ගෙන සිටින පුද්ගලයන්, ඔවුන් ස්වකීය කැමැත්තෙන් එම වත්කම් කිසිදු ප්‍රශ්න කිරීමකට යටත් නොකරන පොරොන්දුව මත හෙළිකරන්නේ නම්  එවැනි වත්කම් 1%ක බදු ප්‍රතිශතයක් යටතේ මෙරටට ගෙන ඒමට හැකි වන පරිද්දෙන් බදු සහන පැනවීම අරමුණු කරගනිමින් මුදල් පනත් කෙටුම්පතක් 2021 ජූලි මස දී, පාර්ලිමේන්තු සභාගත කරන ලදී.මෙම පියවර ගන්නා ලද්දේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ දැඩි අවධානයක් ඇතිව තිබූ අවස්ථාවක මෙන් ම කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකය ඉතාමත් අයහපත් මට්ටමක පවතින පසුබිමක් තුළ දී ය.

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

බදු සමාවක් සාමාන්‍යයෙන් පිරිනමන්නේ බදු ගෙවනු ලබන කණ්ඩායමට තවත් වැඩි පිරිසක් එක්කර ගැනීම අරමුණු කරගෙන ය. ඒ අනුව නීත්‍යනුකූල මාර්ගවලින් මුදල් ඉපයූ නමුත් නියමිත බදු මුදල ගෙවීම පැහැරහැර ඇති අය එවැනි බදු සමාවකට ඉලක්කගත පුද්ගලයෝ වෙති.

කෙසේ වුව ද, අපරාධයන්ගෙන් උපයා ගත් දේපළ රටේ මූල්‍යමය පද්ධතියට ගෙන ඒම සඳහා අපරාධකරුවන්ට බදු සමාවක් අවභාවිතා කළ හැකි වේ. බදු සමාවක් ප්‍රදානය කිරීම පිළිබඳ කනස්සල්ල ඇති කරවන ප්‍රධානතම දූෂණ කාරණය මෙයයි. බදු සමා පටිපාටිය යටතේ හෙළිදරව් කරන වත්කම්වල මූලාශ්‍ර හඳුනාගැනීමට  සහ අධීක්ෂණයට  නියාමන ආයතන විසින් නිසි ක්‍රියාමාර්ග නොගන්නේ නම්, අවසන් ප්‍රතිඵලය වනුයේ  නීතිවිරෝධී මුදල් විශුද්ධිකරණය කිරීම සඳහා මෙම පටිපාටිය අවභාවිතයට ලක් කිරීම ය.. (උදා:අපරාධයන්ගෙන් උපයාගත් දේපළ,එනම් නීතිවිරෝධී ක්‍රමවලින් උපයාගත් මුදල් නීත්‍යනුකූල මූල්‍ය ප්‍රවාහයන්ට එක් කිරීම මගින් ඒවා පිරිසිදු මුදල් ලෙස පෙන්නුම් කිරීම).

වින්දිතයන් කවුරුන්ද?

  • විශාල වශයෙන් මහජනතාව

අපරාධයන්ගෙන් උපයාගත් දේපළ විශුද්ධිකරණය සඳහා බදු සමාව අවභාවිතා කරන්නේ නම්,මහජනතාව කෙරෙහි ප්‍රබල අහිතකර බලපෑම් එල්ල විය හැකි ය.මන්දයත්, එම මුදල් ත්‍රස්තවාදී මුල්‍යකරණයෙන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලින්, මිනිස් වෙළඳාමෙන් හෝ මහජන අරමුදල් අවභාවිතය ආදී ක්‍රියාවන්ගෙන් උපයා ගත් දේපළ විය හැකි බැවිනි. එමෙන්ම, එහි අවසන් ප්‍රතිඵලය වනුයේ  සැබෑ බදු ගෙවන්නන් අධෛර්යමත් වීම සහ ව්‍යාපාර සඳහා වන ආර්ථික පරිසරයට අසාධාරණයක් සිදු වීම යි.අනෙක් අතට පිරිසිදු ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම  ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇත.

අනුගමනය කළ ක්‍රියාමාර්ග

  • බදු සමා පනත් කෙටුම්පතෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් අටක් ගොනු කරන ලදි.පෙත්සම්කාර පාර්ශ්වයන් අතර සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ද විය. සුළු සංශෝධන කිහිපයක් ඇතුළත් කිරීමෙන් අනතුරුව පනත් කෙටුම්පත සම්මත කරගත හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරන ලදි [i] [ii]
  • සුළු වෙනස්කම් කිහිපයක් සමඟින් පනත් කෙටුම්පත 2021 සැප්තැම්බර් මස දී සම්මත කරගන්නා ලදි.[iii]
  • සිදු විය හැකි මුදල් විශුද්ධිකරණ අවදානම ඉස්මතු කරමින් සහ බදු සමාව ක්‍රියාත්මක කිරීමේදී එය දැඩි අධීක්ෂණයකට භාජනය කළ යුතු බවට නිර්දේශ කරමින් TISL ආයතනය මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරන ලදි. [iv]

ගත හැකි ක්‍රියාමාර්ග

TISL ආයතනය අදාළ අධිකාරී ආයතනවලට යොමු කරන ලද ප්‍රධාන නිර්දේශ පහත පරිදි වේ:

  • මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ ත්‍රස්තවාදී මුල්‍යකරණය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඵලදායී අන්දමින් ක්‍රියාත්මක කරන බවට වගබලා ගැනීම.
  • අදාළ අධිකාරී ආයතන අතර ඵලදායී සම්බන්ධීකරණය සහ සහයෝගය පවත්වා ගැනීමට වගබලා ගැනීම.
  • නීතිවිරෝධී මුදල් හුවමාරුව සෙවීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව පවත්වා ගැනීම.

 

[i] https://www.ft.lk/front-page/Centre-for-Policy-Alternatives-challenges-tax-amnesty-bill-in-SC/44-720884

[ii] https://economynext.com/sri-lanka-tax-amnesty-bill-allowed-with-changes-by-supreme-court-85147/

[iii] https://economynext.com/sri-lanka-parliament-passes-tax-amnesty-bill-opposition-abstains-from-sec-bill-85901/

[iv] https://www.tisrilanka.org/tisl-recommends-enhanced-scrutiny-in-operation-of-the-tax-amnesty/

 

This website uses cookies to improve your web experience.