එයාර්බස් – ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම විසින් හිමිකම් ඉල්ලීම

සිදු වූ පාඩුව:

අල්ලසක ප්‍රතිඵලයක්  වශයෙන් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම එයාර්බස් SE සමාගම සමඟ ගිවිසුමකට එළඹුණු අතර, පසුව එම ගිවිසුම අවලංගු කිරීම හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 116ක (ශ්‍රී ලංකා රුපියල්වලින් ආසන්න වශයෙන් බිලියන 23) මුදලක් ගෙවීමට සිදු විය. ඒ අනුව සිදු වූ පාඩුව ඇමෙරිකානු ඩොලර් මිලියන 116කි. (ශ්‍රී ලංකා රුපියල්වලින් ආසන්න වශයෙන් බිලියන 23)[1] [2]

එයාර්බස් සමාගම සහ එක්සත් රාජධානියේ බරපතළ වංචා පිළිබඳ කාර්යාලය අතර ඇති කරගත් කල් දැමූ නඩු පැවරීමේ ගිවිසුමේ එක් කොටසක් ලෙස නිකුත් කරන ලද කරුණු දැක්වීමේ ප්‍රකාශනය මගින් හෙළි කරන ලද ආකාරයට 2013 වසරේ දී සිය සමාගමෙන් ගුවන් යානා 10ක් මිල දී ගැනීමට පෙළඹවීම සඳහා එයාබස් සමාගම විසින් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ බිරිඳට ඇමෙරිකානු ඩොලර් මිලියන 16.84ක ගාස්තුවක් ගෙවීමට එකඟ වී ඇත. මෙම මුදල් ගනුදෙනුව හෙළිදරව් වීම වැළැක්වීම  සඳහා එකී බිරිඳට අයත් බෘනායි රාජ්‍යයේ පිහිටි  ව්‍යාජ සමාගමක් හරහා එම සඳහන් කරන ලද මුදල පියවා ඇත. මෙම කරුණු දැක්වීමේ ප්‍රකාශනයට අනුව(SoF) එයාර්බස් සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලසක් වශයෙන් අදාළ සමාගමට ගෙවා තිබේ.[3]

ශ්‍රී ලංකා අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව උසාවියට දන්වා සිටියේ මෙම සඳහන් කරන ලද ගාස්තුව බෘනායි රාජ්‍යයේ පිහිටුවා ඇති ව්‍යාජ සමාගමක සිංගප්පූරු බැංකු ගිණුමකට ප්‍රථමයෙන් තැන්පත් කර ඇති බවයි. ඉන් අනතුරුව අවස්ථා දෙකක දී  මෙම මුදල් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ ඕස්ට්‍රේලියාවේ පිහිටි ගිණුම්වලට මාරු කර යවා ඇත. පසුව 2014 වසරේ සිංගප්පූරු බැංකු ගිණුමේ තිබූ මුදල් අවස්ථා කිහිපයක දී, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේ බැංකු ගිණුම්වලට මාරු කරන ලදි.[4] 2020 වසරේ දී කල් දැමූ නඩු පැවරීමේ ගිවිසුම ප්‍රසිද්ධ කිරීමත් සමඟ, හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ රිමාන්ඩ් භාරයට ගත් අතර[5] පසුව ඇප මත මුදා හරින ලදි.  2020න් පසුව මෙම චූදිතයන්ට එරෙහිව දේශීය වශයෙන් ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ තොරතුරු ඉතා අල්ප ය.

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිවරයාගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ, බෘනායි හි පිහිටුවා ඇති සමාගමකට ඇමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් ගෙවීම මගින් ප්‍රසම්පාදන ක්‍රියාවලියට බලපෑමක් සිදු කර ඇත. එවැනි අල්ලසක් ලබා ගැනීම ශ්‍රී ලංකාවේ අධිකරණයක් මගින් ඔප්පු වුවහොත් අල්ලස් පනතෙහි 17 සහ 19 වගන්ති යටතේ වරදක් වේ.

වින්දිතයන් කවුද?

  • මහජනතාව
  • ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම

මෙම ගනුදෙනුව අවලංගු කිරීමේ ගාස්තුව වශයෙන් ගෙවීමට සිදු වූ මුදල, රෝහල්, අධ්‍යාපනය සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදාගැනීමට හැකියාව තිබිණි.

අනුගමනය කළ ක්‍රියාමාර්ග

කපිල චන්ද්‍රසේන (පෙර සඳහන් කළ ප්‍රධාන විධායක නිලධාරිවරයා) සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඇප මත නිදහස් කරන ලදි.

මෑතකදී, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම සිදු වූ හානිය, කීර්තිය පළුදු වීම, වියදම් ආපසු ලබා ගැනීම සහ පොලිය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දි මුදලක් එයාර්බස් SE සමාගමෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ.[6] [7]

ශ්‍රී ලංකාවට අදාළ වන්දි මුදල ලබා ගැනීම පිණිස TISL ආයතනය, එක්සත් රාජධානියේ බරපතළ වංචා පිලිබඳ කාර්යාලය (SFO) සමඟ එක්ව කටයුතු කළේ ය.

ගත හැකි ක්‍රියාමාර්ග

  • මෙම දූෂණ ක්‍රියාවට සම්බන්ධ වූ රාජ්‍ය නිලධාරින්ට එරෙහිව දේශීයව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම.
  • එයාර්බස් SE සමාගම සහ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම අතර ගිවිසුම ප්‍රසිද්ධියට පත් කිරීම.
  • අපරාධයන්ගෙන් උපයා ගත් දේපළ පිළිබඳ නීතිය සහ එම වත්කම් නැවත අය කර ගැනීම පිළිබඳ නීතිමය රාමුවක් හඳුන්වාදීම වෙනුවෙන් බල කර සිටීම.
  • අහිමි වූ වත්කම් නැවත අය කර ගැනීමට සහ ශ්‍රී ලාංකේය මහජනතාව වෙනුවෙන් වින්දිත වන්දියක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව හරහා කටයුතු කිරීම.

[1] https://parliament.lk/uploads/comreports/1566538443076012.pdf

[2] https://www.tisrilanka.org/airbus-bribery-tisl-writes-to-uks-serious-fraud-office/

[3] https://www.tisrilanka.org/tisl-welcomes-srilankans-decision-to-sue-airbus-and-calls-for-further-domestic-action/

[4] https://www.newsfirst.lk/2020/02/20/the-airbus-scandal-how-the-bribe-moved-around-sri-lankan-circles/

[5] https://www.aa.com.tr/en/asia-pacific/srilankan-airlines-ex-ceo-wife-remanded-for-bribery/1726797

[6] https://www.ft.lk/top-story/SriLankan-Airlines-sues-Airbus-for-1-b/26-714934

[7] https://www.tisrilanka.org/tisl-welcomes-srilankans-decision-to-sue-airbus-and-calls-for-further-domestic-action/

This website uses cookies to improve your web experience.