ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ දූෂණය

විස්තරය           

ශ්‍රී ලංකාව නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික පරිහානියට 2022 දී මුහුණ දුන් අතර, රජය නිල වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශයට පත් කිරීම සහ පළමු වරට ණය පැහැර හැරීම සිදු විය.[i]

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත ප්‍රවේශ වීම රජය සැලකිය යුතු කාලයකින් ප්‍රමාද කළ අතර, ඉතිරි විදේශ සංචිත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනයට සහ බලශක්තිය නිපදවීම වෙනුවෙන් වැය කරන ලදී.[ii]

තීරණ ගැනීමේ තැන් වල සිටි දේශපාලඥයින්ගේ අකර්මන්‍යතාවය නිසා උත්සන්න වූ ආර්ථික පරිහානිය, ආහාර, ඖෂධ, ඉන්ධන සහ LP ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයට හේතු වූ අතර, පෙර නොවූ විරූ ලෙස සමස්ත ජාතියම එහි ප්‍රතිවිපාක අත්විඳින ලදී.[iii]

පැය 13 කට ආසන්න දෛනික විදුලිය කප්පාදුවක් සිදු වූ අතර[iv] (පසුකාලීනව එය පැය 1-2 දක්වා අඩු විය[v]), වාහන/දෛනික පරිභෝජනය සඳහා ඉන්ධන සීමිත ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා පැය 24 ඉක්මවා දිගු පෝලිම් වල රැඳීමට සිදු විය.

පුරවැසියන් විසින් කලබල වී ඉන්ධන තොග රැස්කිරීම සහ අධික පරිභෝජනය වැළැක්වීම සඳහා, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් කළමනාකරණය කරනු ලබන සියලුම අලෙවිසැල් වල ක්‍රියාත්මක කරන පරිදි “ජාතික ඉන්ධන අවසර පත්‍රයක්” හඳුන්වා දෙන ලදී.[vi] මෙම ක්‍රමය මගින් සියලුම ලියාපදිංචි වාහන සඳහා සතිපතා ඉන්ධන කෝටාවක් ලබා දුන් අතර 2023 අගෝස්තු මස වන විටත් එය දිගටම ක්‍රියාත්මකව පැවතුණි.

ඩොලර් සංචිතවල හිඟතාවය හේතුවෙන් ශ්‍රී ලංකාවට නැව්ගත කරන ඉන්ධන සඳහා ගෙවීමට නොහැකිවීම ඉන්ධන හිඟය ඇතිවීමට හේතු විය. ඊට අමතරව, පොහොර අර්බුදය නිසා ඒ වන විටත් පසුබා තිබූ කෘෂිකාර්මික අංශයට තවත් බලපෑම් එල්ල විය.[vii]

දීර්ඝ විදුලි කප්පාදුව, ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර හිඟය සහ රුපියල අවප්‍රමාණය වීම නිසා කොළඹ නගරයේ සාමකාමී විරෝධතා ඇති වූ අතර, පසුව එම විරෝධතා රට පුරා වර්ධනය විය.[viii]

පවත්නා ක්‍රමය තුළ වගවීම සහ යුක්තිය ඉටුවීමේ අවශ්‍යතාවය මතු කරමින්, එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙසත්, අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබාදීමට රජය වහා පියවර ගත යුතු බවත් බලකරමින් රටපුරා සිවිල් අරගලයක් මතු විය.

කඳුළු ගෑස්, ජල ප්‍රහාර, ලී පොලු සහ ඇතැම් අවස්ථාවලදී කායික බලය භාවිතා කරමින් මහජන විරෝධතාකරුවන් මර්දනය කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ඉහළ නියෝග මත කටයුතු කරන ලදී. විරෝධතා මර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස රජය කිහිප වතාවක් හදිසි තත්වයන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ, සාමකාමී විරෝධතාකරුවන් සහ ඔවුන්ට සහය දෙන්නන් අත්අඩංගුවට ගැනීම් ද නිරීක්ෂණය විය.[ix]

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස යටපත් කිරීමට, සහ විරෝධතා දැක්වීමට සහ රැස්වීමට ඔවුන්ට ඇති අයිතිවාසිකම් නීති විරෝධී ලෙස සීමා කිරීම සඳහා නව රෙගුලාසි නියම කිරීමට රජය අවස්ථා කිහිපයකදී උත්සාහ කළේය.[x]

මාස කිහිපයක් පුරා පැවති සිවිල් ජනතාවගේ අරගලයෙන් අනතුරුව, එවකට හිටපු ජනාධිපතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යවස්ථාපිත ක්‍රියාවලියක් හරහා නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පත් කරන ලද අතර, ඔහු යටතේ “නව” රජයක් පිහිටුවීම සිදු විය.[xi]

මෙහි ඇති දූෂණ ක්‍රියා වන්නේ මොනවාද? 

  • රාජ්‍ය මුදල් සහ සම්පත් අවභාවිතය
  • වැරදි ආර්ථික කළමනාකරණය
  • ප්‍රතිපත්ති පිළිබඳ තීරණ ගැනීමේදී විනිවිදභාවයක් නොමැතිකම
  • බලය අවභාවිත කිරීම
  • වගවීමේ යාන්ත්‍රණය ව්‍යූහාත්මකව දුර්වල කිරීම
  • අකාර්යක්ෂම පාලනය
  • විනිවිදභාවය සහ වගවීම නොමැතිකම
  • දත්ත විවෘත නොවීම
  • ඥාති සංග්‍රහය

වින්දිතයන් කවුද?             

ශ්‍රී ලංකාවේ පුරවැසියන්

මේ සම්බන්ධව ගන්නා ලද පියවර මොනවාද?           

මෙම කරුණු අනුව, 2022 ජුනි මාසයේදී, TISL ආයතනය තවත් පෙත්සම්කරුවන් තිදෙනෙකු සමඟ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. නීතිපති (හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ හිටපු අග්‍රාමාත්‍ය සහ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු වගඋත්තරකරුවන් දහතුන් දෙනෙකු නම් කරමින් මෙම පෙත්සම ගොනු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා පාලනය කඩා වැටීමට බලපෑ තීරණ සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නිලධාරීන් සහ දේශපාලනඥයන් කිහිප දෙනෙකු වගකිව යුතු බව මහජන සුබසාධනය අරමුණු කර ගනිමින් ගොනු කරන ලද මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.[xii]

බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවීම, එම බදු සහන ආපසු හැරවීමට අපොහොසත් වීම, කිසිදු ප්‍රතිව්‍යුහගත කිරීමකින් තොරව දිගටම ස්වෛරී ණය පියවීමට තීරණය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම, මෙම ආර්ථික අර්බුදයට හේතු වූ ප්‍රධාන කරුණු අතර බව පෙත්සම මගින් පෙන්වා දී ඇත.[xiii]

2022 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව ඉදිරියට ගෙන යාමට අවසර දුන්නේය.[xiv] ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම ප්‍රමාද වීම පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීම ඇතුළු අතුරු නියෝග කිහිපයක් අධිකරණය විසින් ලබා දුන්නේය. හිටපු ජනාධිපතිවරයා, හිටපු මුදල් අමාත්‍යවරුන් යනාදීන්ට කරන ලද සියලු සන්නිවේදනයන් සහ නිර්දේශවල පිටපත් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ වෙත නියෝග කළේය.

TISL විසින් මෙම නඩුව පිළිබඳ පුරවැසියන් නිරතුරුවම යාවත්කාලීන කරන ලද අතර, ඒ පිළිබඳව වැඩි මහජන අවධානයක් ලබා ගැනීමේ අරමුණෙන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම් කරනු ලැබීය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් සහ අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, හිටපු මුදල් මණ්ඩලය සහ හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අය ආර්ථිකය නිසිලෙස කළමනාකරණය නොකිරීම හෙතුවෙන් රටේ ආර්ථිකය අර්බුදයකට මඟ පෑදීම හරහා මහජන විශ්වාසය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය කඩ කර ඇති බවට,  ශ්‍රේෂ්ඨාධිකරණය නොවැම්බර් 14 වැනි දින සුවිශේෂී තීන්දුවක් ලබා දෙන ලදි.

අධිකරණය සිය තීන්දුවේ දක්වා ඇති ප්‍රධාන නිරීක්ෂණ කිහිපයක් පහත පරිදි වේ.

  • අර්බුදකාරී තත්ත්වයට තුඩු දුන් කරණා වලට වගඋත්තරකරුවන්ගේ හැසිරීම සෘජුවම බලපෑවේය.
  • වගඋත්තරකරුවන් දැනුම්වත් වී සිටිය යුතු අතර, ඔවුන් රටේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමට වගකීමෙන් බැඳී ඇත. ඒ අනුව, ආර්ථිකයට අහිතකර ලෙස බලපාන කරුණු විසඳීමට සහ අහිතකර බලපෑම් තවදුරටත් උග්‍ර නොකිරීමට ඔවුන් ක්‍රියා කළ යුතුව තිබුණි.
  • මහජන සුබසිද්ධිය ප්‍රමුඛ කොට තම රාජකාරිය ඉටු කිරීමට රාජ්‍ය නිලධාරීන්ට වගකීමක් ඇත.
  • මහජන විශ්වාසය තහවුරු වන අයුරින් ක්‍රියා කිරීම සඳහා වගඋත්තරකරුවන්ට ඉහළ බලතල ලබා දී ඇති අතර, ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන අනුව රාජකාරි ඉටු කිරීමට බැඳී සිටී.
  • තමන් ගත් තීරණ ප්‍රතිපත්තිමය තීරණ යැයි පවසමින් වගඋත්තරකරුවන්ට වගකීමෙන් මිදිය නොහැක.
  • වගඋත්තරකරුවන් පැවති තත්ත්වය මනා ලෙස දැන සිටි බැවින්, එවැනි විපතක් වැළැක්වීමට ඔවුන්ට පූර්ණ බලයක් පැවතුනි.
  • මහජන යහපත වෙනුවෙන් පැවැති තත්ත්වයට පිළියම් යෙදීමට වගඋත්තරකරුවන් ඔවුන්ට ගත හැකිව තිබූ සියලු ක්‍රියාමාර්ග නොගත් බව පැහැදිලිය.
  • වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් සහ ඔවුන් සුදුසු පරිදි ක්‍රියාත්මක නොවීම නිසා අර්බුද තත්ත්වයක් ඇති විය.
  • මහජන විශ්වාසය රැකීම සියලු රාජ්‍ය නිලධාරින්ට පොදුය. එබැවින්, වගඋත්තරකරුවන් මීට වඩා වගකීමෙන් ක්‍රියා කිරීමට බැඳී ඇත.
  • වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන්, අතපසුවීම් සහ හැසිරීම් ආර්ථික අර්බුදයට මූලික හේතු විය. https://www.supremecourt.lk/images/documents/sc_fr_195_and_212_2022.pdf

වෙනත් නඩු කාරණයකට අදාළව, ප්‍රචණ්ඩත්වය සහ නොසන්සුන්තාව ඇති කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 16 දෙනෙකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් 2022 මැයි 9 වැනි දින විදේශ ගමන් තහනමක් පනවන ලදී.[xv]

තවදුරටත් කළ හැකි දේ මොනවාද?             

  • ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත පදනම්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සහ ඒ සඳහා ආර්ථික අර්බුදයට ගොදුරුවූවන් දිරිගැන්වීම.
  • ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටීම.
  • අත්‍යවශ්‍ය දූෂණ විරෝධී ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම.[xvi]
  • මහජන නියෝජිතයින්ට වගවන ලෙස බල කිරීම (ඔවුන්ගේ වත්කම් ප්‍රකාශන ප්‍රසිද්ධ කිරීම සහ මැතිවරණ ප්‍රචාරක වියදම් පාලනය හරහා).
  • සොරාගන්නා ලද වත්කම් නැවත ලබා ගැනීමට බල කිරීම.

[i] https://www.ft.lk/top-story/Sri-Lanka-declares-bankruptcy/26-733409

[ii] https://www.reuters.com/world/asia-pacific/shocks-missteps-how-sri-lankas-economy-ended-crisis-2022-02-25/

[iii] https://www.reuters.com/world/asia-pacific/we-are-going-die-food-shortages-add-sri-lankas-woes-2022-05-20/

[iv] https://www.aljazeera.com/news/2022/3/31/sri-lanka-crisis-forces-13-hour-blackouts-hospitals-stop-surgery

[v] https://cebcare.ceb.lk/Incognito/DemandMgmtSchedule

[vi] https://ceypetco.gov.lk/2022/07/16/ministry-of-power-and-energy-launches-national-fuel-pass-to-streamline-fuel-distribution/

[vii] https://www.spglobal.com/commodityinsights/en/market-insights/blogs/agriculture/081022-sri-lanka-crisis-food-organic-farming

[viii] https://www.reuters.com/world/asia-pacific/shocks-missteps-how-sri-lankas-economy-ended-crisis-2022-02-25/

[ix] https://www.aljazeera.com/news/2022/4/1/sri-lanka-declares-state-of-emergency-as-protests-spread

[x] https://www.hrw.org/news/2022/09/27/sri-lanka-revoke-sweeping-new-order-restrict-protest

[xi] https://www.bbc.com/news/world-asia-62202901

[xii] https://www.tisrilanka.org/tisl-files-petition-in-the-sc-demanding-accountability-for-the-economic-crisis/

[xiii] https://www.tisrilanka.org/wp-content/uploads/2022/06/Public-Petition.pdf

[xiv] https://www.tisrilanka.org/supreme-court-grants-leave-to-proceed-in-the-case-filed-by-tisl-and-3-others/

[xv] https://www.ft.lk/news/Travel-ban-imposed-on-Mahinda-Rajapaksa-and-16-others/56-734756

[xvi] https://www.tisrilanka.org/15-points-on-essential-anti-corruption-reforms-to-revive-sri-lanka%e2%80%af/

This website uses cookies to improve your web experience.